CMS පැදුර

කලාව නම් සුව ගෙනෙන සොදුරු සාගරයේ දිය බිදක හෝ පහස ලබන්නට මේ මනුෂ්‍ය වර්ගයා දරන්නේ අසීමිත ආශාවක්ය. එහි ගිලී තෙමී සිත්සේ විදින්නාවූ තාරූණ්‍ය අතර මොරටුව විද්‍යාර්ථයයින් සුවිශේෂී වන්නේ කලා පීඨයක හිඩැස කිසිදා සරසවි බිමට දැනෙන්නට නොදුන් කලාවට පෙම් බදින්නාවූ උසස් රසාස්වාදකින් යුත් පරපුරක කොටස් කරුවන් නිසාවෙනි. ඒ අතර, ගායනයහි වාදනයහි දක්ෂයන් මෙන්ම රස සොයන්නාවූ සිත් ඇත්තෝ ද නිරායාසයෙන් ම එකිනෙකා මුණගැහුණු බිම ශාස්ත්‍රීය සංගීත සංසදයයි. වසර දහයකට අධික කාලයක සිට මොරටුව සරසවියේ සංගීතමය උරුමය විදින්නට මෙන්ම අනාගතය වෙනුවෙන් රකින්නට දෑත් දරා සිටි බොහෝ දෙනා සිය කාර්යබහුලත්වය නිසාම සරසවි බිමේ ප්‍රියතම මතක අතරට පමණක් ශාස්ත්‍රීය සංගීත සංසදය කොටුකර දිවි ගෙවද්දී, CMS පැදුර ගෙන එන්නේ ඒ මතක අලුත් කරගන්නට පිදෙන නවමු සංකල්පයක් ලෙසිනි. සද නැගෙන සොදුරු සන්ද්‍යාවක සීතල සුළං රැල් ගත දැවටෙමින් හමද්දී, පන්දම් එළියේ මතකාවර්ජන කරන්නට ශාස්ත්‍රීය සංගීත සංසදයේ තුන් කල්හිම උරුමකරුවන් ප්‍රථම වරට එකිනෙකා මුණ ගැසුණේ මැදින් මස දිනයකයි. 

පැදුරටම සරිලන ශාස්ත්‍රීය සංගීතයෙහි එන වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් ගී ගයන්නට හිමි වීමද ඒ ගී රස විදින්නට හැකි වීමද පැදුර සමග එක්වූ සියල්ලන්ගේම භාග්‍යයක් වූයේ එවන් අත්දැකීම් වර්තමාන කලා ලෝකය තුල විරල නිසාවෙනි. වසර ගණනාවකට පෙර ශාස්ත්‍රීය සංගීත සංසදය බිහිවූ යුගයේ ජ්‍යේෂ්ඨ සොයුරු සොයුරියන් සමග පිළිසදරෙහි යෙදෙන්නද, අනාගත පිරිස මැනවින් දැන හදුනාගන්නද CMS පැදුර නිර්මාණය කලේ සුවිශේෂී අවස්ථාවකි. අතරින් පතර ගැයූ විවිධ තේමාවන්ගේ ගීත පරිසරයෙන් ලැබුනු සුවයද සමග එක්ව එහි වූ පිරිස සිය විඩාබර ජීවිතයෙන් ඈතට රැගෙන ගියේ හදවත් සිනහවන්ගෙන් පුරවාලමිනි. කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නේය පසක් කරමින්, සිනා මැකී ගිය මිනිසුන් වෙනුවට හිත පුරා සිනාසෙන මිනිසුන්ද , නිහඩ මිනිසුන් වෙනුවට එකිනෙකා සමග අත්දැකීම් හුවමාරු කරගන්නා මිනිසුන්ද, උගත්කම පමණක්ම වෙනුවට පරිණත වූ නිහතමානී මිනිසුන්ද සරසවි බිමට රැස් කල CMS පැදුර සරසවි මවුන් විදි සොදුරුතම සන්ද්‍යාවක් බව නොඅනුමානය.