අපි වෙනුවෙන් අපි - A tribute to Nation's Heroes

දිවි හිමියෙන් රට රකින,දහස් ගණන් ජීවිත නිරෝගීව තබන්නට වෙහෙසෙන, ශ්‍රීලාංකීය වීර දූ පුතුන් වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍රීය සංගීත සංසදයෙන් පිදූ උත්තමාචාරය “අපි වෙනුවෙන් අපි” සංසදයේම සොයුරු සොයුරියන්ගේ කටහඬින් ගීතවත් හා සංගීතවත් වූ රූප රචනය සයිබර් අවකාශයට මුදාහැරුනේ 2020 අප්‍රේල් මසදී ය.
එකම රටක එකම ලෙයින් හැදුනු, අනෙකා ගැනත් හිතන වගකීම් හදුනන මිනිසුන් වූ ඔවුහු දිවා රෑ නොබලා අප වෙනුවෙන් කැපවූ ආකාරය සැබවින්ම විස්මයජනකය. දිනෙන් දින දහස්
ගනන් වූ අහිංසක ජීවිත බිලිගනිමින් කොවිඩ් උවදුර පැතිරුන කාලයක මනුසත්බව දිවි දෙවැනිකොට සැලකූ ඒ සොඳුරු ආත්මයන්ට අපට හැකි මෙලෙසින් හෝ උපහාර පිදීම ලැබීම ගෞරවයකි.
සති කිහිපයක කාලයක් පුරා සැලසුම් කරමින් හා හඬ පට හා රූප රචනා කොටස් එකතු කරමින් හඬ පමණක් උපයෝගී කරගෙන (Acapella) කළා වූ මේ නිර්මාණයේ දෘෂ්‍ය සංස්කරණ හා ශ්‍රව්‍ය
සංස්කරණ කටයුතු මෙන්ම රචනා කටයුතුද සිදුකළේ සංසදයේම සහෝදර සහෝදරියන් විසිනි.

ලෝකයක් මවිත කල දූ පුතුන් වෙසෙන ලක්බිමේ, අප ලැබූ උතුම්ම ත්‍යාගය මනුෂ්‍යත්වයයි. මහා ව්‍යසනයක් මැද නොසැලී සිට කදුලු අතරට සිනා ගෙන යන්න සවියක් වන්නට
මොරටුව සරසවි බිමේ කලාව නම් වූ රස සයුරේ සුව විදින සංවේදී මිනිසුන් සතු සංගීතය, වත්කමක් බව සිහිපත් කරන්නේ සෙනෙහසිනි.